«

Jan 10

001. සූරත් – අල්ෆාතිහා (ආරම්භය) – හැඳින්වීම

අල් ෆාතිහා පිවිසුම්

01. සූරත් අල් ෆාතිහා  – හැඳින්වීම
01. සූරත් අල් ෆාතිහා  – සංක්ෂිප්ත අර්ථ විවරණය
01. සූරත් අල් ෆාතිහා  – සරල අර්ථ විවරණය (තෆ්හීම්)
01. සූරත් අල් ෆාතිහා  –  සවිස්තරාත්මක අර්ථ විවරණය (තර්ජුමා)
01. සූරත් අල් ෆාතිහා  –  අරාබි සිංහල විවරණ හඬ පට

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

හැඳින්වීම

සූරත්

සූරත් යන වචනයෙහි අර්ථය පරිච්ජේදය යන්නයි. අල්-කුර්ආනයේ සූරත් 114 ක් ඇත. එහි කෙටිම සූරතය, ආයාත් (වාක්‍ය) 3 කින්ද දීර්ඝතම සූරතය ආයාත් (වාක්‍ය) 286 කින්ද සමන්විතය. තවද මෙම සූරතයන්හි මක්කීයාහ් (මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා මක්කාහි වාසය කළ අවධියේදී පහළ කරන ලද පරිච්ජේදයන්), මදනීය්යාහ් (එතුමා මදිනාහ්වට සංක්‍රමණය වීමෙන් පසුව පහළ කරන ලද පරිච්ජේදයන්) වශයෙන් කොටස් දෙකක් ඇත.

නාමය

මෙම සූරතය (පරිච්ඡේදය) අල්-ෆාතිහා යනුවෙන් නම් කර ඇත්තේ එහි වූ වස්තු විෂය අනුවය. ෆාතිහා යනු යම් විෂයක හෝ පොතක හෝ අන් කවර දෙයක වුවද ආරම්භයයි. වෙනත් වචනවලින් කිවහොත් එය එක්තරා අන්දමක හැඳින්වීමකි.

පහළ වූ කාල සීමාව

මෙය මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට අල්ලාහ් වෙතින් පහළ වු මුල්ම වහී (හෙළිදරව්) වලින් එකකි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට හෙළිදරව් කරනු ලැබූ පළමුවන සම්පුර්ණ සූරතය මෙයයි. මීට පෙර පහළ කර ඇත්තේ විවිධ ස්වභාවයේ ආයාත් (වැකි) කිහිපයක් පමණි.

තේමාව

සැබැවින්ම මෙම සූරතය අල්ලාහ්ගේ ධර්ම ග්‍රන්ථය හදාරනු කැමතියනට අල්ලාහ් විසින්ම දායාදය කරන ලද ප්‍රාර්ථනයකි. අල්-කුර්ආනයෙහි මෙම සූරතය මුලින්ම යොදා ඇත්තේද ඒ කෙරෙහි යොමුවන්නාට මෙම ප්‍රාර්ථනාව දායාදය කරවීම පිණිසය. එනම් අල්-කුර්ආනයෙන් ඵල ලබාගන්නට ඔබ අවංකවම අපේක්ෂා කරන්නේ නම් මුලින්ම විශ්වයේ අධිපති වු අල්ලාහ් වෙත පමණක්ම ඔබ යොමු විය යුතුය.

මෙම තේමාවෙන් අදහස් කෙරෙන්නේ විශ්වයේ අධිපති වූ අල්ලාහ්ට පමණක් ලබාදිය හැකි මග පෙන්වීම ඔහු වෙතින්ම ලබා ගැනීම පිණිස මහත් අභිලාශයක් හදාරන්නාගේ හදවත තුළ ජනිත කරවීමයි. මේ අනුව අල් ෆාතිහා සූරතයෙන් ව්‍යංගාකාරයෙන් ඉගැන්වෙන්නේ මිනිසකුට කළ හැකි සුදුසුම දෙය සද්ධර්ම මාර්ගය පෙන්වීම සඳහා ප්‍රාර්ථනා කිරීම, සත්‍යය සොයන්නකු ලෙස අල්-කුර්ආනය අධ්‍යයනය කිරීම හා සකල විධ ඥානයේ උල්පත (ප්‍රභවය) සර්ව බලධාරි අල්ලාහ් පමණක් බව පෙන්වා ඒකාන්තයෙන්ම පිළිගැනීමයි. තවද අල්-කුර්ආනය හැදෑරීම ආරම්භ කරමින් තමාට නිසි මඟ දෙන ලෙස අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළයුතු වීමයි.

මේ අනුව අල්-ෆාතිහා සහ අල්-කුර්ආනය අතර පවත්නා සම්බන්ධය පොතකට යෙදු පෙරවදනක් නොවන නමුදු එය ප්‍රාර්ථනාවක් මෙන්ම ප්‍රාර්ථනාවට ලැඛෙන්නා වූ පිළිතුරක් බවද පැහැදිළිය. සූරත් අල්-ෆාතිහාව අල්ලාහ්ට අවනත වූද විශ්වාසවන්ත වූද මිනිසකු විසින් කරන්නාවු ප්‍රාර්ථනයකි. අල්-කුර්ආනය වු කලී තම විශ්වාසවන්තයාගේ ප්‍රාර්ථනයට අල්ලාහ් විසින් ලබාදෙන්නා වු පිළිතුරකි. තමාට නිවැරදි මඟපෙන්වන ලෙස බැගෑපත්ව තම පරමාධිපතිගෙන් ඔහු අයැද සිටි. “ඔබ මගෙන් අයැදු මාර්ගෝපදේශයයි මේ” යන්න පවසන්නාක් මෙන් මෙසේ තම යටහත් වැසියාගේ අයැදුමට පිළිතුර ලෙස පාරිශුද්ධ වූ අල්-කුර්ආනයම ඔහු ඉදිරියේ දිස්වේ.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

අල් ෆාතිහා පිවිසුම්

01. සූරත් අල් ෆාතිහා  – හැඳින්වීම
01. සූරත් අල් ෆාතිහා  – සංක්ෂිප්ත අර්ථ විවරණය
01. සූරත් අල් ෆාතිහා  – සරල අර්ථ විවරණය (තෆ්හීම්)
01. සූරත් අල් ෆාතිහා  –  සවිස්තරාත්මක අර්ථ විවරණය (තර්ජුමා)
01. සූරත් අල් ෆාතිහා  –  අරාබි සිංහල විවරණ හඬ පට