«

»

Jan 10

001. සූරත්-අල් ෆාතිහා – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – ආයත් 1 – 7

අල් ෆාතිහා පිවිසුම්

01. සූරත් අල් ෆාතිහා  – හැඳින්වීම
01. සූරත් අල් ෆාතිහා  – සංක්ෂිප්ත අර්ථ විවරණය
01. සූරත් අල් ෆාතිහා  – සරල අර්ථ විවරණය (තෆ්හීම්)
01. සූරත් අල් ෆාතිහා  –  සවිස්තරාත්මක අර්ථ විවරණය (තර්ජුමා)
01. සූරත් අල් ෆාතිහා  –  අරාබි සිංහල විවරණ හඬ පට

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

01. සූරත්-අල් ෆාතිහා (ආරම්භය) – සරල අර්ථ විවරණය (තෆ්හීම්)

මක්කාහ්වේ දී හෙළිදරව් කෙරුණකි. ආයාත් 7 යි.

1_1

 

අපරිමිත දයාන්විත(1) අසමසම කරුණාන්විත(1අ අල්ලාහ්ගේ (1ආ)  නාමයෙනි(1ඇ)

(1) මිනිසකු සෑම දෙයක්ම අල්ලාහ්ගේ නාමයෙන් ඇරඹිය යුතු බව ඉස්ලාමීය සංස්කෘතියෙන් අපේක්ෂිතයි. මෙය සවිඥානකවද අවංකවද කළහොත් එයින් යහපත් ප්‍රතිඵල තුනක් ලැබෙනු ඇත. පළමුකොට එය ඔහු පාපකාරි ක්‍රියාවලින් ඈත් කරනු ඇත. මක්නිසාද යත්, වැරදි ක්‍රියාවකට හෝ පාපී චේතනාවකට අල්ලාහ්ගේ නාමය සම්බන්ධ කිරීම යුක්ති සහගත දැයි සලකා බැලීමට හුදෙක් එම අල්ලාහ් යන නාමය නිසාම ඔහු පෙළඹෙයි. දෙවනුව, අල්ලාහ් යන නාමය උච්චාරණ මාත්‍රයෙන්ම ඔහු තුළ යහපත් මානසික ආකල්පයක් ඇති කොට ඔහුට නිසි මඟ පෙන්වයි. තෙවනුව, ඔහුට අල්ලාහ්ගේ පිහිට හා ආශීර්වාදය ලැබී ෂෙයිතාන්ගේ පෙළඹවීමෙන් ආරක්ෂා කෙරෙනු ඇත. මන්දයත්, අල්ලාහ් ඔහු වෙත යොමුවන හෙයිනි. මෙය වැදගත්ම ප්‍රතිඵලයයි.

(1අ) කරුණාව හා දයාව යන අර්ථය දෙන රහ්මත් යන පදයේ මුලාශ්‍රයෙන් රහ්මාන් රහීම් යන පද දෙක බිහිවිය. මෙම වචන දෙක අතරින් රහ්මාන් යන්න අල්ලාහ් විසින් මවන ලද මිනිසුන් ඇතුළුව සෑම දෙයකටම මෙලොවදී දයාව පෙන්වන්නා යන අදහස ලබාදෙයි. අල්ලාහ් යන පදය මෙන්ම අර්රහ්මාන් යන පදයද අල්ලාහ් හැර වෙන කිසිවකුටත්, කිසිවකටත් භාවිතා කළ නොහැකිය. රහීම් යන්න පරලොව විනිශ්චය දිනයේදී අල්ලාහ් විසින් පෙන්වනු ලබන ඉමහත් දයාව හඳුන්වනු ලබන පදයකි. එය අල්ලාහ්ගේ මඟ පෙන්වීම අනුගමනය කළ අයට පමණක් පරලොවදී අල්ලාහ් විසින් ප්‍රදානය කරනු ලබන අනුග්‍රහයක් වේ. මේ අනුව රහ්මාන් යන වචනයෙහි, රහීම් යන වචනයට වඩා පුළුල් අර්ථයක් ගැබ්වී ඇත. තවද, ‘බිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම්’ හි ඇති අර්රහ්මාන්, අර්රහීම් යන පද මිනිස් වර්ගයා සහ ඔවුන්ගේ පරමාධිපති අතර ඇති සම්බන්ධතාවය, කරුණාව හා දයාව යටතේ ගොඩනැගුනක් බව දක්වන ගැඹුරු අර්ථයක්ද ලබා දේ. රහ්මාන් යන පදයෙන් අල්ලාහ්ගේ අතිවිශිෂ්ඨ ත්‍යාගශීලීත්වය හා දයාව ප්‍රකාශ වන නමුත් එයින් පවා අල්ලාහ්ගේ එම ගුණාංගයන්ගේ අසීමිතභාවය ප්‍රකාශ කිරීමට නොහැකිය. එබැවින් එම අඩුපාඩුව සපුරාලීම සඳහා එම ධාතුවෙන්ම බිඳුනු රහීම් යන වෙනත් වචනයක්ද එක්කොට ඇත.

අර්රහ්මාන්, අර්රහීම් යන්න අල්ලාහ්ගේ ශ්‍රී විභූතිය විස්තර කරන නාමයන් දෙකකි. මෙවැනි නාමයන් අස්මාඋල් හුස්නාහි (අල්ලාහ්ගේ ශ්‍රී විභූතිය විස්තර කරන නාම මාලාව) දක්වා ඇත. අල්ලාහ්ට මෙවැනි නාමයන් අනුනවයක් තිබෙන බව මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පවසා ඇත.

(1ආ) අල්ලාහ් යන්න කිසිම සජිවී හෝ අජීවී දෙයකට සමාන කළ නොහැකි පදයකි. අල්ලාහ් අනුපමේය වූද සියලූ යහපත් ගුණාංගයන්හි පුර්ණ හිමිකරුද වේ. වෙනත් කිසිවකුගේ හෝ කිසිවකගේ හෝ කිසිම සම්බන්ධතාවයක් නොමැතිව තම ස්වභාවයෙන්ම ප්‍රභවයක් හෝ අවසානයක් නොමැතිව පැවතෙයි. අල්ලාහ් යන්න නැමඳුමට සුදුසු එකම සර්ව බලධාරින් හඳුන්වන්නා වූ සංඥා නාම පදයයි. ඉස්ලාමයට පෙර සමයෙහිද බහුදේව වාදී අරාබිවරු අල්ලාහ් නමැති මෙම පාරිශුද්ධ වූ නාමය ඒකීය වූ අල්ලාහ්ට පමණක්ම භාවිතා කළහ. තවද අල්ලාහ් යන පදයට අරාබි බසින් බහු වචනයක් හෝ ස්ත්‍රි ලිංග පදයක් හෝ නොමැත. අල්ලාහ් යන වචනයේ අර්ථය ප්‍රකාශ කරන තනි වචනයක් වෙනත් කිසිම භාෂාවක හෝ දක්නට නොමැති බව මෙහිදී අවධාරණය කළ යුතුය.

අල්ලාහ් යන පදයට සමානව යෙදිය හැකි වෙනත් පදයක් නොමැති බැවින් ඒ සඳහා අල්ලාහ් යන වචනයම යෙදිය යුතුවේ. ඉහත කී කරුණු අනුව අවසාන ක්‍රියාව වශයෙන් “සේක” යන ගෞරවාන්විත පද පවා භාවිතා කිරිම නුසුදුසුය. අල්ලාහ්ගේ ඒකීයත්වය අවධාරණය කරනු වස් එසේ කොට ඇති අතර සෑම විටම පුරුෂ ලිංග ඒක වචනය ඒ සඳහා යෙදිය යුතුයි. එසේ වුවද අල්ලාහ් සජිවි හෝ අජිවී වස්තුවක් ලෙස නොගිණිය යුතුය.

(1ඇ) ආරම්භයද අවසානයද ප්‍රත්‍යක්ෂද අදෘශ්‍යමානද වන්නේ අල්ලාහ් පමණකි යන්නද සියලූ දේවල ඒ ඒ මැවුම්වල හේතු කාරක වන්නේද අල්ලාහ්මය, යන්නද ඉස්ලාමයේ මුලික ඉගැන්වීම් වේ. තවද මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට හෙළිදරව් කරන ලද මුල්ම වැකිය වන්නේ ඔබේ රබ්(පරමාධිපති)ගේ නාමයෙන් කියවනු යන්නය. එබැවින් අල්-කුර්ආනය කියවන්නට පටන් ගන්නා යම් තැනැත්තෙක් “බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්” යන පදය උච්චාරණය කර ආරම්භ කිරීමෙන් අල්ලාහ්ගේ එම අණට අවනත වෙයි. වැකි හතකින් සමන්විත වු මෙම සූරතයේ මුල්ට මෙය යෙදී ඇත්තේ එබැවිනි.

තවද අල්-කුර්ආනයේ නවවන සූරතය වන “අත්තව්බා” හැර සියලූම සූරතයන් “බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්” යන්නෙන් ආරම්භ කළ යුතුය.

අල්-කුර්ආනය පාරායනය කරන්නට සුදානම් වන්නකු “බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්” යන්න කියන්නට ප්‍රථම “අඌzසුබිල්ලාහි මිනෂ්ෂෙයිතානිර්රජීම්” (ශාපලත් ෂෙයිතාන්ගේ දුශ්ඨ පෙළඹීම් වලින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයැදිමි) යයි කිව යුතුය.

මෙවැනි වදනක් අල්-කුර්ආන්හි සඳහන් වී නොමැති වුවද මෙම වැකිය අල්-කුර්ආනයේ සූරත්වලට මුලින් සඳහන් වී ඇති “බිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම්” වැනි වදනක් සේ යෙදෙනු නොලැබුවද ශාපලත් ෂෙයිතාන්ගේ දුශ්ඨ පෙළඹීම්වලින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයදිය යුතු යැයි අල්-කුර්ආනයේ සඳහන් වී ඇත.

 

1. පැසසුම් සියල්ලම රබ්බිල්(2) ආලමීන්(2අ)(විශ්වයේ පරමාධිපති) වු අල්ලාහ්ට(2ආ)පමණි.(2ඇ)

(2) රබ් යන අරාබි වචනයට අර්ථ තුනක් ඇත. එනම් (අ) ස්වාමියා සහ හිමිකරු (ආ) ජීවක, පරිපෝෂික, ආධාරක හෙවත් ආරක්ෂක (ඇ) පරමාධිපති, පාලක, පරිපාලක හා මඟ පෙන්වන්නා යන අර්ථයන්ද මෙහි ගැබ් වී අත. මේ අර්ථ සියල්ලෙන්ම පළ කෙරෙනුයේ අල්ලාහ් විශ්වයාධිපති බවයි.

(2අ) අරාබි බසින් ආලමීන් යන වචනය මෙහිදී විශ්වය යන්නෙන් පරිවර්තනය කර ඇත. ආලමීන් යන වචනයෙහි අල්ලාහ් හැර ඔහු විසින් මෙලොව හා පරලොව මවන ලද සියලූම දේ අන්තර්ගත වේ. එනම් මෙහි අර්ථය මෙලොව හා පරලොව ඇති සියලූ දෑහි රබ් (අධිපති) වන්නේ අල්ලාහ් පමණක්ම බවයි. කෙටියෙන් සඳහන් කරතොත් විශ්වය සුරකින්නේද සංරක්ෂණය කරන්නේද පරිපෝෂණය කරන්නේද පරිපාලනය කරන්නේද අල්ලාහ් පමණක්මය. රබ්බිල් ආලමීන් (විශ්වයේ අධිපති) යන්නෙන් ප්‍රකාශ කිරීමෙන් මිනිසාගේද ආරම්භය, වර්ධනය හා ආරක්ෂාව යනාදිය වෙනුවෙන් අල්ලාහ් පමණක්ම සම්බන්ධ වූ බැවින්ද මේවා අල්ලාහ්ගේ කරුණාව හා දයාව හේතු කොටගෙන සිදුවු බැවින්ද මුස්ලිම් බැතිමතා තමාගේ කෘතවේදීත්වය අල්ලාහ්ටම පිරිනමයි. මෙසේ ඉස්ලාමයේ මූලික ඉගැන්වීම වන මැවීම, ආරක්ෂා කිරීම හා නැති කිරීම යනාදී සියලූම බලයන් ඇත්තේ අල්ලාහ්ටම පමණක් බව මෙයින් තවදුරටත් පැහැදිලි වේ.

(2ආ) “අල්හමිදුලිල්ලාහි රබ්බිල් ආලමීන්” යන වාක්‍ය මගින් සියලූම පැසසුම් හිමිවන්නේ තමන්ට පමණකි යන්න අල්ලාහ් වදාරන අතර තමාගේ ගැත්තන්ද එය එලෙසම පිළිගෙන තමා පමණක් පැසසුමට ලක් කළ යුතු යැයි අපේක්ෂා කරයි. තවද මෙලෙස ගැත්තා අල්ලාහ්ටම පැසසුම් කිරීමේදි අල්ලාහ් යන වචනය ඔහුගේ සවනට වැදුණු විගසම එම ගැත්තාගේ සිතෙහි ඇතිවන කෘතඥභාවය පිළිබිඹු කරයි. තවද මෙම වාක්‍යය ඉස්ලාමීය ඉගැන්වීමෙහි තවත් අර්ථයක් වන සර්ව බලධාරීත්වය යන අර්ථයද මෙහිදී ලබාදේ. එහි වෙනත් කිසිවකුට හෝ කිසිවකට හෝ අයිතිවාසිකමක් නැත. මෙමගින් විශ්වාසවන්තයෙක් අනෙකුත් සියලූම බලයන්ගෙන් මිදී සර්ව බලධාරි අල්ලාහ් වෙතටම යොමුවෙමින් නිදහස් සත්පුරුෂයෙක් බවට පත්වෙයි.

(2ඇ) අල් ෆාතිහා දුආවක් හෙවත් ප්‍රාර්ථනයක් යැයි මෙම සූරතයේ ආරම්භයේදී ප්‍රකාශ කරන ලදී. මෙම සූරතය ආරම්භ කෙරෙනුයේ එයින් ආමන්ත්‍රණය කෙරෙන අල්ලාහ්ගේ ගුණගායනයකිනි. අයැදීමක් කළ යුතු විශිෂ්ටතම ක්‍රමය ඉන් අපට ඉගැන්වේ. නිසි ප්‍රස්ථාවනාවක් නොමැතිව අප විසින් අපගේ ඉල්ලීම විනීත බවෙන් තොරව හා හදිසියේම නොකළ යුතුය. නිවැරදි ක්‍රමය නම්, අප අපගේ ප්‍රාර්ථනය ඉදිරිපත් කරනු ලබන අල්ලාහ්ගේ උත්කෘෂ්ඨභාවය, අනුග්‍රහයන් හා උත්තරීතර තත්ත්වය පිළිගැනීමයි. එබැවිනි, සියලූම උත්කෘෂ්ඨතාවන්හි පරිසමාප්තිය වූද අපගේ ශුභකාරක වුද අල්ලාහ්ගේ ගුණගායනයකින් අප අපගේ දුආව (ප්‍රාර්ථනාව) ආරම්භ කරනුයේ. අප අල්ලාහ්ට නමස්කාර කරන්නේ, අප ඔහුගේ උත්කෘෂ්ඨතාවන් අවංකවම පිළිගන්නා බවත් ඔහුගේ අප්‍රමාණ අනුග්‍රහයන් වෙනුවෙන් අප කෘතඥ වන බවත් පළ කිරීමටය. “අල්ලාහ්ට ප්‍රසංශා කරමු පමණක් නොව, ප්‍රශංසාව අල්ලාහ්ට පමණක් හිමිවේ” යනුවෙන්ද පැවසෙන බව මෙහිලා සැලකිය යුතුයි. මෙම විශේෂත්වය ඉතා වැදගති. මක්නිසාද යත්, එයින් ඔහුගේ මැවීම් කිසිවක් ඇදහීමට භාජන කිරීම මුලිනුපුටා දමන හෙයිනි. එම මැවීම් කිසිවක් ප්‍රශංසාර්භ නොවන හෙයින් ඒ කිසිවක් පූජාර්භද නොවේ. කිසිදු මිනිසකු, මලක්වරයකු (සුරදුතයකු), නබිවරයකු (ධර්ම දූතයකු), ඊනියා දෙවියකු මෙන්ම තාරාකාවක්, ප්‍රතිමාවක් කොටින්ම කියතොත් ඔහුගේ කිසිම මැවීමක් තුළ ආවේණික වශයෙන් කිසිඳු ඇදහීමට සුදුසු ගුණයක් නැත. ඒ කිසිවක එවැන්නක් ඇත්තේ නම් ඒ අල්ලාහ් විසින් ප්‍රදානය කරන ලද්දක්මය. එහෙයින් එම ගුණාංගයන්ගේ නිර්මාතෘවරයාණන්ටම පමණක් භක්තිය, පුද පූජා හා කෘතඥතාව හිමිවිය යුතු මුත් ඔහුගේ නිර්මාණයකට හෙවත් මැවීමකට එවැනි කිසිවක් හිමිවිය යුතු නොවේ.

 

2. (ඔහු ) අපරිමිත දයාන්විත, (3) අසමසම කරුණාන්විත (ද)(3ආ)

(3) රහ්මාන් යන අරාබි ශබ්දය තම යෝගයෙන් යෙදුණු ප්‍රශස්ත ගණයේ විශේෂණයක් වුවද ඉහළම තත්ත්වයේ ත්‍යාගශීලිත්වයක් හා දයාවක් ඉන් පැවසේද එයිනුදු පවා අල්ලාහ්ගේ එම ගුණාංගයන්ගේ අසීමිත පෘථුලභාවය ප්‍රකාශ කළ නොහැකිය. එහෙයින්, එම අඩුව පුරවාලීම සඳහා එම ධාතුවෙන්ම බිදුණු රහීම් යන තව ශබ්දයක්ද එක්කොට ඇත්තේය.

(3ආ) ඉහත “බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්” යන වාක්‍යයෙහි සඳහන් කරන ලද අල්ලාහ්ගේ අති විශේෂ ගුණාංගයන් දෙක එලෙසම මෙහි තනි වාක්‍යයක් ලෙස සඳහන් වී ඇත. මෙය අල්ලාහ්ගේ පරමාධිපතිත්වයද අල්ලාහ් සහ ගැත්තන් අතර දයාව හා කරුණාව යනාදිය හේතු කොටගෙන ඇතිවු සබඳතාවයද පැහැදිලි කරයි. ඉහත වාක්‍යයේදී රබ්බිල් ආලමීන් (විශ්වයේ පරමාධිපති) යැයි සඳහන් කළවිට ගැත්තාට ඇතිවු බිය බැතිමත්භාවයෙන් මෙම ගුණාංගයන් දෙකෙන්ම පිළිබිඹු වන අල්ලාහ්ගේ දයාව සිහිපත්කර යටහත්වීමේ හා අවනතවීමේ ස්වභාවය ඔහු තුළ ඇති කරවයි. සැබැවින්ම විශ්වාසය වූ කලී අල්ලාහ්ට යටහත් වී අවනත වී ක්‍රියා කිරීමද අල්ලාහ්ගේ දයාව හා කරුණාව නිශ්ච්තව ලැඛෙනු ඇතැයි යන බලාපොරොත්තු තබා ගැනීමද එමගින් අල්ලාහ්ගේ දඬුවමින් තමා ආරක්ෂා විය යුතුයි යන බියද අන්තර්ගත කරුණකි.

 

3. විනිශ්චය දිනයේ අධිපති(4) (ද වේ)(4අ)

(4) අල්ලාහ් ත්‍යාගශීලී හා කරුණාන්විත යැයි පැවසීමෙන් පසු ඔහු මරණින් මතු විනිශ්චය දිනයේ අධිපතියා යැයි ඉන් අනතුරුව දක්වා ඇත. මෙසේ කොට ඇත්තේ හුදෙක් ඔහුගේ දයාව හා කරුණා ගුණය නිසා විනිශ්චය දිනයේදි ඔහු නිසියාකාරව විනිශ්චය දීමෙහිලා වෙනසක් නොකරන බව කාටත් අමතක නොවනු පිණිසය. එදින ඔහු පළමුවන මනුෂ්‍යයා සිට අවසන් මනුෂ්‍යයා දක්වා වු සියල්ලන් එක්රැස් කරවා තම තමන්ගේ ක්‍රියාවන් පිළිබඳව තමාම වගකිව යුතු බව නියම කරනු ඇත. එබැවින් අල්ලාහ් කරුණාන්විත වනු පමණක් නොව සාධාරණද වන බව මුස්ලිම්වරයකු සිත් තබා ගත යුතුය. තවද, පූර්ණ බලය ඔහු සතු බැවින් තමාට අභිමත පරිදි ඕනෑම කෙනකුට සමාව දීමේ හෝ දඬුවම් කිරීමේ බලය ඔහු සතුය. එහෙයින් අපගේ අවසානය සුවදායක හෝ දුඃඛදායක කිරීමට ඔහුට සාකල්‍යයෙන්ම හැකි බව අප සපුරා ඒත්තු ගත යුතුය.

(4ආ) මෙවැනි විශ්වාසයක් ඇති විටක පමණි මිනිසා ලෞකික ජිවිතයේ භෞතික සැප සම්පත් කෙරෙහි ඇලී ගැලී නොසිට මරණින් මතු ලැඛෙන්නා වු තම අර්ථවත් ජීවිතය කෙරෙහි ලැදියාවක් දක්වමින් පරලොවෙහි ලැඛෙන්නා වු තිළිණ ලබා ගන්නා අටියෙන් ස්වෝත්සාහයක් දක්වා යහමඟට පොළඹවෙනු ලබන්නේ. එබැවින් පරලොව පිළිබඳ අචල විශ්වාසය මිනිසාගේ සිතෙහි කිඳා බසින තුරු හේ අල්ලාහ් විසින් පිරිනමන ලද සදහම් මඟ මුළුමනින්ම පිළිපදින්නට උත්සුක නොවන්නේය. එමෙන්ම මෙම ඊමානය (විශ්වාසය) සත්‍ය වශයෙන්ම සිතෙහි පැළපදියම් වු විට කෙටිකාලීන වූ මිනිසාගේ මෙලොව ජිවිතය ස්ථීර සාරවූ පරලොව ජයග්‍රහණය ලබා ගැනීම පිණිස කැප කරනු ඇත. එබැවින්, පරලොව ජිවිතය පිළිබඳව විශ්වාස කරන විශ්වාසවන්තයකු හා කාෆිර් (ප්‍රතික්ෂේප කරන්නකු) අතර හැඟීම්, ගතිපැවතුම් හා ගුණදහම් යනාදිය අතර විශාල පරතරයක් දක්නට ලැඛෙනු ඇත. මේ දෙදෙනාගේ ජිවිතය මෙලොවහිදී සමාන නොවන අතර පරලොවෙහිදීද ඔවුනට ලැඛෙන තිළිණ හෝ දඬුවම් අතර විශාල වෙනසක් දක්නට ලැඛෙනු ඇත.

 

4. ඔබම අපි නමදිමු (ඉබාදත් කරමු)(5) (5අ) තවද ඔබගෙන් පමණක්ම පිහිට පතමු.(6) (6අ)

(5) ඉබාදත් යන අරාබි පදයෙහි අර්ථ තුනක් ඇත. (අ) නැමඳුම හා භක්තිය (ආ) අවනතවීම හා කීකරුවීම (ඇ) යටහත්වීම හා දාසභාවය යනුවෙනි. මෙහිදී මේ අර්ථ තුනම ගම්‍යමාන වෙයි. එනම්, “අපි ඔබ නමදින්නෝ, ඔබගේ ගැත්තෝ හා ඔබගේ වහල්ලූ වෙමු සහ අප මෙම සබඳතාවන් පවත්වා ගන්නේ ඔබ හා ඔබ සමඟින් පමණක්ය.” “මේ තුන් අරුත අනුවම අපි ඔබ හැර අන් කවරෙකු හට වත් යටහත්ව ඉබාදත් නොකරමු.”

(5අ) අල්ලාහ් මිනිසාගේ පරමාධිපති වන අතර මිනිසා අල්ලාහ්ගේ ගැත්තා වේ. එබැවින් ස්වකීය පරමාධිපතිට කීකරුව ඔහුගේ අභිමතයට අනුකූලව ගැත්තකු කරන සෑම දෙයක්ම ඉබාදත් වේ. වෙනත් වචනවලින් කිවහොත්, ගැත්තන් වෙත සම්පූර්ණයෙන්ම කරුණාව හා දයාව පෙන්වන අල්ලාහ්ගේ අණට හා දඬුවම්වලට අවනත වෙමින්ද බියවෙමින්ද පාපකාරී ක්‍රියාවලින් මිදී ගැත්තා යහපත් ක්‍රියාවල යෙදීම ඉබාදත් වේ.

(6) මෙහි අරුත “ඔබ සකල විශ්වයේම පරමාධිපති වන හෙයින්ද සකල බලයම ඔබ සතු හෙයින්ද ඔබ සෑම දෙයකටම අධිපති හෙයින්ද අපි ඔබගේ පිහිට පතමු. එබැවින් අපගේ ඕනෑ එපාකම් සපුරා ගැනීම සඳහා පිහිට පතා අපි ඔබ වෙත හැරෙමු.” යනුයි.

(6අ) අල්ලාහ්ට අවනතවීම හා අල්ලාහ්ගේ පිහිට පැතීම යන්නෙහි පහත සඳහන් කරුණු දෙක අන්තර්ගත වේ.

  1. අල්ලාහ්ට කිසිවකු හෝ කිසිවක් සමාන කිරීමෙන් සම්පුර්ණයෙන් වැළකී සිටිය යුතුය.
  2. තමා වෙත හෝ අන්‍යයන් වෙත ඇති සියලූම බලයන් හා හැකියාවන් අල්ලාහ් විසින්ම පිරිනමන ලද්දේය. එබැවින් එම බලයන් හා හැකියාවන් කෙරෙහි පමණක් විශ්වාසය නොතබමින් සියල්ල සඳහාම අල්ලාහ්ගේ අනුග්‍රහය බලාපොරොත්තු වෙමින් අල්ලාහ්ගෙන්ම පිහිට අයැද සිටිය යුතුයි.

ඉහත කී මුලික අංගයන් දෙකම මෙම ආයතයෙහි (වදනෙහි) අන්තර්ගතවී ඇත. යමකු ඉහත සඳහන් පරිදි තමාගේ නැමඳුම්වලට හිමිකරු වන්නේත් තමාගේ අවශ්‍යතා සපුරාලන්නේත් අල්ලාහ්ම බව පිළිගත්විට ඔහු අල්ලාහ් කෙරෙහි තබන ලද විශ්වාසයට පටහැනිවු සියලූ විශ්වාසන්ගෙන්ද මිනිසුන්, ආයතනයන් හා අනෙකුත් බලයන්ගෙන්ද මිදෙයි. තවද මිථ්‍යා මතයන්ගෙන් හා වැරදි ආකල්පවලින් මිදී ස්වාධීන සත්පුරුෂයකු ලෙස තම දෛනික ජිවිතය ගත කරයි. මෙම සූරතයෙහි මින් පසුව එන ආයාත් (වදන්) සියල්ලම අල්ලාහ්ට සපුරාම අවනත වු මිනිසකු තමාගේ අධිපතිවු අල්ලාහ් වෙත කරන අර්ථවත් ප්‍රාර්ථනාවක් ලෙස සැළකිය හැකිය.

 

5. සෘජු මාර්ගය (වෙතට)(6 ආඅපට මඟ පෙන්වා දෙනු (මැනවි) (6ඇ)

(6ආ) එනම්, සෑම ක්‍රියාවකදීම අපට නිවැරදිව ගමන් කළ හැකි මාර්ගය පෙන්වනු මැනවි. අප පාප ක්‍රියාවලින් හා ඒවායේ අනිෂ්ට විපාක වලින් සාකල්‍යයෙන්ම නිදහස් කොට අවසානයේ දී අපට ජයග්‍රහණය ගෙන දෙනු මැනව. අල්-කුර්ආනයේ අධ්‍යයනය ආරම්භ කරන, අල්ලාහ්ගේ සෑම ගැත්තකු විසින්ම කරන ඉල්ලීමයි, මේ. සෑම ජීවන වෘත්තියකදීම තමාට මඟ පෙන්වන ලෙසත් නොදැනුවත්කම නිසා හටගන්නා විචිකිත්සාවේ හා අවිනිශ්ච්තතාවේ යදම්වලින් තමා මුදා ගන්නා ලෙසත් හේ ඔහුගෙන් අයැදියි. තවද අතුරු මාර්ග හා වක් මං රාශියෙන් නිවැරැදි වූත් සද්ධර්මවූත් ජීවන මාර්ගය කවරේදැයි තමාට පෙන්වන ලෙස හේ සර්වබලධාරි අල්ලාහ්ගෙන් ඉල්ලයි.

(6ඇ) සෘජු මාර්ගය යන්නෙහි අර්ථය නොපැකිලි මාර්ගය වේ. එනම්, මෙය සත්‍ය මාර්ගය වන බව ඉස්ලාමය අවධාරණය කරයි. බැතිමතකු අයැදින සෘජු මාර්ගය නම් අල්ලාහ්ගේ අනුග්‍රහය ලද්දාවූ හැමකල්හිම අනුගමනය කරනු ලැබු මාර්ගයයි. එය සැමවිටම අල්ලාහ්ගේ අනුග්‍රහයන් හා දයාව ගෙන ආ මාර්ගයයි. හැම විටකදීම අපට නිවැරදිව ගමන්කළ හැකි එම සත්‍ය මාර්ගය අපට පෙන්වා දෙනු මැනව. වරදෙන් හා ඒවායේ අනිෂ්ඨ විපාකවලින් සාකල්‍යයෙන්ම අප වළක්වා අපට ජයග්‍රහණය ලබාදෙනු මැනව. සද්ධර්ම මාර්ගය අවබෝධ කර ගැනීමට අපගේ බුද්ධිය අපොහොසත් වන බැවින් අප නොමඟ යැවෙනු ඇත. සද්ධර්ම මාර්ගය පටු සහ දුෂ්කර සහිත වූවක් බැවින් බොහෝ දෙනකුට එය සොයා ගැනීම අපහසු වනු ඇත. එබැවින් අපි සර්වඥානවුද සර්වබලධාරිවුද අල්ලාහ්ගෙන් පමණක් එම මඟ පෙන්වීම අයැද සිටිය යුතුය.

 

6. එය ඔබගේ ආශීර්වාදය ප්‍රදානය කළ(7) අයගේ මාර්ගයයි.

(7) අප අයැද සිටින සත්‍ය මාර්ගය නම් ඔබ විසින් අනුග්‍රහය දක්වනු ලැබුවන් විසින් කවදත් අනුගමනය කරනු ලැබූ මාර්ගයයි. එය සැමවිටම ඔබගේ අනුග්‍රහ සහ ආශීර්වාද ගෙන ආ මාර්ගයයි.

 

7. ඔබගේ කෝපයට භාජනය වූ හෝ නොමඟ ගියවුන්ගේ (8) මාර්ගය නොව. (8අ)

 

(8) මෙයින් පළකැරෙන්නේ “අනුග්‍රහ දක්වනු ලැබූ” ජනයා නියම මගින් පිට පැන අල්ලාහ්ගේ කෝපයට ලක්වන්නා වූත් ජිවිතයේ තාවකාලීක සැප සම්පත් භුක්ති විඳින සේ පෙනී යන්නාවූත් අය නොවන බවයි. සැබෑ අනුග්‍රහය ලත් ජනයා වූ කලී සිය දැහැමි දිවිපෙවත නිසා ආශීර්වාද ලබන අයයි. “අනුග්‍රහය” යන්නෙන් අදහස් කැරෙන්නේ දාමරිකයන් හා ධනය අදහන්නන් පවා ආස්වාදය කරනු ලැබූවා වූත් සෘජු මාර්ගය හැර මංමුළා වූ විවිධ ඝණයේ පාපීන් විසින් අද පවා ආස්වාදය කරනු ලබන්නාවූත් ජිවිතයේ තාවකාලික සැප සම්පත් නොව ධාර්මික දිවි පැවැත්මෙන් හා අල්ලාහ්ගේ ප්‍රසාදය දිනා ගැනීමෙන් අත්වන සැබෑවූත් නිත්‍ය වූත් ප්‍රතිඵලයි.

(8අ) අල්ලාහ් වෙත වූ යමකුගේ ප්‍රාර්ථනාව ඔහුගේ හදපත්ලෙන්ම නැගෙන්නෙක් වන්නේ නම් එය ඔහු අල්ලාහ් වෙත ඉතාමත් සමිප කරවයි. එවිට සෑම දෙයක්ම යහපතක්වුද සාමයෙන් හා සමගියෙන් පිරි ඇත්තාවූද දෑ ලෙස ඔහුගේ දෙනෙතට පෙනේ. එවිට ඔහු පාපී බවින්ද කළහකාරී බවින්ද අසහනකාරී බවින්ද තොරවු සාමකාමි ලෝකයක් දකී. එවිට ඔහු නිතැතින්ම අල්ලාහ් කෙරෙහි ප්‍රාර්ථනා කරන්නට පෙළඹෙයි. එහිදී ඔහුට අල්ලාහ්ගේ ගුණාංගයන් ඉතා පැහැදිලි ලෙස අවබෝධ වනු ඇත. (ආයාත් 2-4) මෙම කරුණු මුල්කර ගනිමින් ඔහු අල්ලාහ්ගේ ආශිර්වාදයන් පිළිබඳව තම කෘතඥතාවය ඵල කරමින් නැමඳීමෙහි යෙදෙනු ඇත. (ආයත් 5) අවසානයේදී ඔහු අල්ලාහ් වෙතින් තමාට නිවැරදි මඟ පෙන්වන මෙන් අයැද සිටියි. (ආයාත් 6-7) එබැවින් මෙම සූරතයේ අන්තර්ගතව ඇති ආයාත් (වදන්) අල්ලාහ් වෙතින් අප අයැද සිටිය යුතු ප්‍රාර්ථනාව, ඔහු අප වෙත පහළ කර ඇත. අල්ලාහ් සියලූම ප්‍රශංසාවන් අභිබවන බැවින් ඔහුට පැසසුම් කිසිවක් අවශ්‍ය නොවන්නේය. අපගේ සෑම අවශ්‍යතාවක්ම අපට වඩා මැනවින් අල්ලාහ් දන්නා බැවින් අපගේ ආයාචනාවලින් පමණක්ම එකී අවශ්‍යතාවන් දැනගැනීම ඔහුට අවශ්‍ය නොවේ. අල්ලාහ්ගේ ත්‍යාගශීලීත්වය යහපත් අයට මෙන්ම අයහපත් අයටද එසේම වන්නේය. එබැවින් මුලික වශයෙන් මෙම ප්‍රාර්ථනාව අපගේ ආධ්‍යාත්මික වර්ධනය හා ඊමානය (විශ්වාසය) තහවුරු කර ගැනීිම සඳහා වු අතිවිශේෂ අයැදුමකි.

ආමීන්

ප්‍රාර්ථනාවක් වන මෙම සූරත් අල්-ෆාතිහා කියවා අවසන්වීමෙන් පසුව ආමීන් යන්නෙන් පාරායනය කළ යුතු යැයි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන් පවසා ඇත. නමුත් ආමීන් යන මෙම වචනය අල්ලාහ් විසින් හෙළිදරව් කරන ලද අල්-කුර්ආනයෙහි සඳහන් නොවන බැවින් එහි මෙම වචනය අන්තර්ගතවී නැත. ආමීන් යන්න “අපේ ප්‍රාර්ථනාවන් පිළිගනු මැනව” යන අර්ථය ගෙනදේ.

——————————

අල් ෆාතිහා පිවිසුම්

01. සූරත් අල් ෆාතිහා  – හැඳින්වීම
01. සූරත් අල් ෆාතිහා  – සංක්ෂිප්ත අර්ථ විවරණය
01. සූරත් අල් ෆාතිහා  – සරල අර්ථ විවරණය (තෆ්හීම්)
01. සූරත් අල් ෆාතිහා  –  සවිස්තරාත්මක අර්ථ විවරණය (තර්ජුමා)
01. සූරත් අල් ෆාතිහා  –  අරාබි සිංහල විවරණ හඬ පට